Reported Journalist:Zamil Shafeek

ඉරානයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදය නව සම්බාධක රැසක් පනවා තිබේ. ඒ අනුව පුද්ගලයන්, ආයතන සහ නෞකා 60ක් පමණ නව සම්බාධකවලට යටත් කර ඇති බව වාර්තා වේ.
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර ඇත්තේ ඉරානය සමඟ වෙළඳ කටයුතු සිදුකරන රටවල් සහ සමාගම්වලට ද මෙම පියවර හරහා දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි. කෙසේ වෙතත්, නව සම්බාධකවලට ලක්වන සියලු පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළි කර නොමැත.මේ අතර ඉරාන බලධාරීන් ඇමරිකානු ක්රියාමාර්ගයට දැඩි විරෝධය පළ කරමින්, තම රටට එරෙහිව සිදුකරන ආර්ථික පීඩනයට ප්රතිචාර දැක්වීමට සූදානම් බව අවධාරණය කර තිබේ.
ඉරාන ආර්ථික අමාත්යවරයා සඳහන් කර ඇත්තේ නව සම්බාධකවලට මුහුණදීමට ඉරානය සූදානම් බවත්, ඇමරිකානු පීඩනයට ප්රතිචාර දැක්වීම සඳහා ඉරානය සතුවද විකල්ප ක්රියාමාර්ග පවතින බවත්ය.එමෙන්ම ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායද සිය රටේ යටිතල පහසුකම්වලට හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වුවහොත් ඇමරිකානු වැදගත් ආර්ථික හා බලශක්ති ඉලක්කවලට දැඩි ප්රතිචාරයක් දැක්විය හැකි බවට අනතුරු අඟවා තිබේ.මේ අතර චීනය සහ රුසියාව ඇමරිකාවේ නව ක්රියාමාර්ගවලට සහාය නොදක්වනු ඇති බවට ඉරානය විශ්වාසය පළ කර තිබේ.
විශේෂයෙන් ඉරාන තෙල් වෙළඳාමේ ප්රධාන ගැනුම්කරුවෙකු වන චීනය සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.ඉරානය සහ ඇමරිකාව අතර පවතින ආතතිය සමනය කිරීම සඳහා පාකිස්තානය මැදිහත් වී සාකච්ඡා පැවැත්වීමද සිදුවෙමින් පවතී.
හෝමූස් සමුද්ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ගැටුම තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම පිළිබඳව එම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.කෙසේ වෙතත්, නව ඇමරිකානු සම්බාධක හමුවේ ඉරානය ගන්නා ඉදිරි ක්රියාමාර්ග සහ මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුමට ඇති විය හැකි බලපෑම පිළිබඳව ජාත්යන්තර අවධානය යොමුව තිබේ.












Discussion about this post