Reported Journalist:Zamil Shafeek

භෞතික සංවර්ධනය පමණක් රටක සැබෑ දියුණුවේ මිනුම් දණ්ඩ නොවන බවත්, ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්යාත්මික වර්ධනය මත එය තීරණය වන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කළුතර දකුණ, රෙමුණගොඩ කෝන්ගොඩ ශ්රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ලෝහමය සමාධි බුද්ධ ප්රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට ජූලි 28 දින එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව ප්රකාශ කළාය.
එහිදී බෙන්තර–වල්ලල්ලාවිට කෝරළයේ ප්රධාන සංඝනායක අතිපූජ්ය මලේගොඩ නන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් ප්රතිමා වහන්සේ නිරාවරණය කළ අතර, අනතුරුව අග්රාමාත්යවරිය මල් පූජා කර ආගමික වතාවත්වල නිරත වූවාය.අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් අග්රාමාත්යවරිය සඳහන් කළේ, වර්තමාන වේගවත් සහ සංකීර්ණ සමාජය තුළ ජනතාවට වඩාත් අවශ්ය වන්නේ සංයමය සහ ආධ්යාත්මික සැනසීම බවයි.එමෙන්ම, රටේ ඓතිහාසික, ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඇය පැවසුවාය.
බුද්ධ ශාසන අමාත්යාංශය සහ මධ්යම සංස්කෘතික අරමුදල හරහා පෞරාණික විහාරස්ථාන සංරක්ෂණය, බිතුසිතුවම්, ශිලා ලේඛන සහ චෛත්ය ප්රතිසංස්කරණය මෙන්ම දුරස්ථ විහාරස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.
තරුණ පරපුරට ඓතිහාසික උරුමය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම සහ පුරාවිද්යාත්මක ස්ථාන සංරක්ෂණය කර සංචාරක ආකර්ෂණය දිනාගන්නා ස්ථාන බවට පත් කිරීමේ වැදගත්කමද අග්රාමාත්යවරිය අවධාරණය කළාය.මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, රාජ්ය නිලධාරීන්, ප්රදේශයේ මහජන නියෝජිතයන් සහ විශාල ජනතාවක් එක්ව සිටියහ.












Discussion about this post