Reported Journalist:Zamil Shafeek

රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්ය අමාත්යාංශයට එරෙහිව චෝදනා එල්ල කර ඇත.රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස මහතා පැවසුවේ, සෞඛ්ය අමාත්යවරයා සමඟ පැවති පෙර සාකච්ඡාවලදී තම සංගමය විසින් යෝජනා ලිඛිතව ඉදිරිපත් කර ඇති නමුත්, පොරොන්දු වූ පරිදි ඒවා ක්රියාත්මක කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි.
මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය ක්රියාමාර්ග හේතුවෙන් රෝගී සත්කාර සේවාවලට කිසියම් බාධාවක් සිදුවුවහොත්, ඒ සඳහා සෞඛ්ය අමාත්යාංශය සහ සෞඛ්ය අමාත්යවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි.තම රාජකාරිය නිසි ලෙස ඉටු කර තිබේ නම් මෙවැනි වෘත්තීය ක්රියාමාර්ගවලට යාමට අවශ්යතාවයක් නොමැති බවද වෛද්ය ප්රභාත් සුගතදාස මහතා මෙහිදී පැවසීය.
වෛද්ය වෘත්තිය සුවිශේෂී සේවා කාණ්ඩයක් ලෙස හඳුනාගෙන, විශේෂඥ වෛද්යවරුන් සහ පරිපාලන අංශයේ වෛද්යවරුන් ශ්රේණිගත කර නව වැටුප් ව්යුහයක් හඳුන්වා දෙන බවට සෞඛ්ය අමාත්යවරයා පොරොන්දු වී ඇති බවත්, එය පාර්ලිමේන්තු අයවැය කතාවේ සහ හැන්සාඩ් වාර්තාවේද සඳහන්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ජනවාරි 05 වන දිනට පෙර භාණ්ඩාගාර නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දු වූ නමුත්, දත්ත දීමනාව යාවත්කාලීන කිරීම, අතිරේක රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම සහ වැටුප් සම්බන්ධ යෝජනා පිළිබඳව මෙතෙක් සතුටුදායක පිළිතුරක් නොලැබී ඇති බව වෛද්ය ප්රභාත් සුගතදාස මහතා පැවසීය.දින දෙකක සංකේත වැඩ වර්ජනයට නිසි ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ක්රියාමාර්ග පහක් යටතේ වෘත්තීය ක්රියාමාර්ගයකට යාමට සංගමය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම වෘත්තීය ක්රියාමාර්ග හේතුවෙන් හදිසි රෝගීන්ට ප්රතිකාර කිරීමේ කිසිදු බාධාවක් සිදු නොවන බවත්, රෝගීන්ගේ ජීවිත අවදානමට ලක් නොවන ලෙස කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.













Discussion about this post