Reported Journalist:Zamil Shafeek

මානව ප්රාග්ධනය සංවර්ධනය කිරීම රජයේ ප්රමුඛතම ආයෝජනයක් ලෙස සලකන බව විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
2025 සහ 2026 වසරවල ජාත්යන්තර රසායන විද්යා ඔලිම්පියාඩ් සහ ජාත්යන්තර මෙන්ඩලීව් රසායන විද්යා ඔලිම්පියාඩ් තරගාවලිවලදී දස්කම් දැක්වූ ශ්රී ලංකා සිසුන් ඇගයීම වෙනුවෙන් ලංකා රසායන විද්යා ආයතනය සංවිධාන කළ උපහාර උළෙලකට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
මාළඹේ පිහිටි ලංකා රසායන විද්යා ආයතනයේදී පසුගිය 06 වැනිදා පැවති මෙම උත්සවයේදී අමාත්යවරයා පෙන්වා දුන්නේ, රසායන විද්යාව රට සහ ලෝකය මුහුණ දෙන සංකීර්ණ අභියෝග සඳහා විසඳුම් සෙවීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.රසායන විද්යා ඔලිම්පියාඩ් වැනි තරග මගින් සිසුන්ගේ මතක ශක්තිය පමණක් නොව, විශ්ලේෂණාත්මක චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව සහ විද්යාත්මක මූලධර්ම ප්රායෝගිකව යොදා ගැනීමේ හැකියාව ද වර්ධනය වන බව ඔහු සඳහන් කළේය.
ජාත්යන්තර පදක්කම් දිනා ගැනීම වැදගත් ජයග්රහණයක් වුවද, එය අවසාන ඉලක්කය නොවිය යුතු බවත්, තරුණ පරපුර තම දැනුම භාවිත කරමින් නව දැනුම හා තාක්ෂණයන් නිර්මාණය කිරීමටත්, ප්රායෝගික ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමටත් යොමු විය යුතු බවත් අමාත්යවරයා පැවසීය.
විද්යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය මත පදනම් වූ දියුණු ජාතියක් ගොඩනැගීම රජයේ දැක්ම බව සඳහන් කළ ඔහු, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම, නවෝත්පාදන හා තාක්ෂණික හුවමාරුව ප්රවර්ධනය කිරීම මෙන්ම විශ්වවිද්යාල, පර්යේෂණ ආයතන සහ කර්මාන්ත ක්ෂේත්රය අතර ශක්තිමත් සබඳතා ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද පැවසීය.විද්යාගාරවල සිදු කෙරෙන පර්යේෂණ ජනතාවට සහ ආර්ථිකයට ප්රතිලාභ සැලසෙන ප්රායෝගික යෙදවුම් බවට පත් කිරීම අත්යවශ්ය බවද අමාත්යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සීමාසහිත හේකාර්බ් පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ රාජිත කාරියවසම් මහතා ගෞරවනීය අමුත්තා ලෙස එක්වූ අතර, ලංකා රසායන විද්යා ආයතනයේ සභාපති මහාචාර්ය චාන්දනී පෙරේරා, රසායන විද්යා ඔලිම්පියාඩ් කමිටුවේ සභාපති මහාචාර්ය ඉරේෂිකා ද සිල්වා මහත්මීන් ඇතුළු විද්යාඥයින්, අධ්යාපනඥයින්, සිසුන්, උපදේශකයින් සහ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.













Discussion about this post