Reported Journalist:Zamil Shafeek

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි සහායකවරුන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්රියාත්මක කරන නව අධ්යාපන ශිෂ්යත්ව වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ඊයේ (23) අනුරාධපුර පළාත් සභා ශ්රවණාගාරයේදී පැවැත්විණි.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී උතුරු මැද පළාතේ ලොතරැයි අලෙවි සහායකවරුන්ගේ දරුවන් 65 දෙනෙකු සඳහා ශිෂ්යත්ව පිරිනැමිණි.ලොතරැයි අලෙවිය හරහා ජනාධිපති අරමුදලට ලැබෙන මූල්ය දායකත්වය අගය කිරීමක් ලෙස මෙම ශිෂ්යත්ව වැඩසටහන හඳුන්වා දී තිබේ.
පළමු ශ්රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්යාපනය ලබන දරුවන් සඳහා ක්රියාත්මක වන මෙම වැඩසටහන දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි ඉදිරියට ක්රියාත්මක කිරීමට නියමිතය.මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා සඳහන් කළේ 2026 ජනවාරි 01 සිට ජුනි 30 දක්වා මාස හයක කාලය තුළ සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිත ජාලය ජනාධිපති අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 5,112ක මූල්ය දායකත්වයක් ලබාදී ඇති බවයි.
මෙම ශිෂ්යත්ව වැඩසටහන සඳහා වැඩිම අයදුම්පත් ප්රමාණයක් උතුරු මැද පළාතෙන් ලැබී ඇති බැවින් එහිදී පළමු වැඩසටහන පැවැත්වීමට කටයුතු කළ බව ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය.ග්රාමීය දරුවන්ට අධ්යාපනය හරහා ඉදිරියට යාමට අවශ්ය සහාය ලබාදීම මගින් ග්රාමීය දුප්පත්භාවය අවම කිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් වැදගත් බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් හා රාජ්ය නිලධාරීන්, ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජිකයින්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.












Discussion about this post