Reported Journalist:Zamil Shafeek

පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.කල්පිටිය, කන්දකුලිය අතුරු කුඩාව ප්රදේශයේදී කල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් එක් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි ගමන් කළ කුඩා දරුවා කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ කන්දකුලිය ප්රදේශයේ පදිංචිව සිටි අවුරුදු 6ක කුඩා දරුවෙකු සහ 40 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර, කොළඹ–පුත්තලම මාර්ගයේ ලුණුවිල හන්දිය ආසන්නයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පාපැදිකරුවෙකු පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබේ.අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ත් 60ත් අතර පුද්ගලයෙකු වන අතර, ඔහුගේ අනන්යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.මේ අතර, මාදම්පේ නගරයේදී පැරණි නගරය දෙසට පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිටුපසින් පැමිණි වෑන් රථයක ගැටී ඇති අතර, අනතුරෙන් පසු එම වෑන් රථය පලාගොස් තිබේ.
බරපතළ තුවාල ලැබූ 62 හැවිරිදි පාපැදිකරු මාදම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු මඩොල්කැලේ ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.අනතුරින් පසු පලාගිය වෑන් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.













Discussion about this post