Reported Journalist:Zamil Shafeek

සංචාරක ප්රවර්ධනයේ මුදල්වලින් මැතිවරණයට ටී-ෂර්ට් 17,000ක් ගහලා2014 වසරේ සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8ක මුදලක් අවභාවිත කරමින් ටී-ෂර්ට් 17,000ක් මුද්රණය කර මැතිවරණ කටයුතු සඳහා භාවිත කළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඊයේ (10) නියෝග කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමක් සලකා බැලිමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.සැකකාර බැසිල් රාජපක්ෂ යන අය 2024 වසරේ විදේශගතව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගැනීමට නොතීසියක් නිකුත් කරන ලෙසත් සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්රාත්වරයා ජාත්යන්තර වශයෙන් නොතීසියක් නිකුත් කිරීමට නම් දිවුරුම් ප්රකාශයක් මඟින් විධමත් ලෙස ඉල්ලීම සිදු කරන ලෙසත් දැනුම් දුන්නේය.
මෙම ටී-ෂර්ට් මුද්රණය කර සංචාරක ප්රවර්ධන කාර්යාංශයට භාරදීමක් සිදු නොකර කළමනාකාර අධ්යක්ෂවරයා හා මූල්ය කළමනාකාරවරයාගේ අත්සනින් යුක්තව මුදල් ගෙවා ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.එහිදී මූල්ය කළමනාකාරවරයා මෙහි සැකකරුවෙක් නොවන්නේ මන්දැයි මහේස්ත්රාත්වරයා ප්රශ්න කළ අතර, එහිදී ඔහුව සැකකරුවෙක් ලෙස නම් කරමින් නීතිපතිවරයා වෙත දැනුම් දුන් බවත් ඔහුව සැකකරුවෙක් ලෙස නිතිපතිවරයා නම්කර එවා නැති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුවට අදාළව වරෙන්තු නිකුත් කර තිබූ නීතිඥවරුන් මාර්ගයේ අධිකරණයට භාරවූ සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න යන අය දැඩි ඇප කොන්දේසි ම මුදා හැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව අවශ්ය සියලු සහය ලබාදෙමින් 127 යටතේ ප්රකාශයක් ද ලබාදුන් තම සේවාදායකයා රජයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කරන ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.“මෙම ටී ෂර්ට් මුද්රණය කරන ලෙස හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මෙමටී-ෂර්ට් මුද්රණයට අධ්යක්ෂ මණ්ඩලය රැස්වීමකින් තොරව අවශ්ය අනුමැතිය දී තිබෙනවා. එහිදී මෙම ටී ෂර්ට් මුද්රණය කළ ආයතනයට සෘජුවම බැසිල් රාජපක්ෂ උපදෙස් දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රුව සහ පිටුපස දිනන ඌව සහ දේශපාලන සංවිධානයක නමක් මුද්රණය කරන ලෙස. ඒ අනුව තමයි මේවා මුද්රණය කර තිබෙන්නේ”යැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වමින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය. මෙම සිද්ධියේ වරෙන්තුවක් නිකුත් කර තිබූ තෙවැනි සැකකරු වන එහි කළමනාකාර අධ්යක්ෂ රූමි ජව්ෆර් යන අය ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.නීතිපති උපදෙස් මත පොදු දේපළ පනත යටතේ සැකකරුවන් ලෙස නම්කරන බව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් මඟින් දැනුම් දී තිබුණි.













Discussion about this post