Reported by: Musharraf Hussain

මත්ද්රව්ය උවදුර මේ වන විට පුද්ගල මට්ටමේ ගැටලුවක් ඉක්මවා ගොස් ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට මෙන්ම සමාජ ආචාරධර්ම පද්ධතියටද දැඩි තර්ජනයක් බවට පත්ව ඇති බැවින්, මත්ද්රව්ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ.
මේ අතර, මත්ද්රව්ය පාලනය සහ ඇප ලබාදීමේ ක්රියාවලියට අදාළ නීති සංශෝධන මේ වන විටත් සකස් කර අවසන් අදියරේ පවතින බවද එහිදී අනාවරණය වී තිබෙනවා.
අදාළ නීති සංශෝධන කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සාකච්ඡාවේදී ප්රකාශ වී ඇත්තේ.මත්ද්රව්ය සම්බන්ධ නඩු කටයුතුවලදී ඇතිවන රස පරීක්ෂක වාර්තා ප්රමාදය වළක්වා ගැනීම සඳහාද පියවර ගෙන ඇති අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර ඇති බව සඳහන්.
මීට අමතරව, රස පරීක්ෂණ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබා ගැනීමටද තීරණය කර තිබෙනවා.
සැකකරුවන් සම්බන්ධ නීතිමය කටයුතු කඩිනම් කිරීමේ අරමුණින්, අත්අඩංගුවට ගන්නා මත්ද්රව්ය ප්රමාණය අනුව — ග්රෑම් 5ට අඩු, ග්රෑම් 10ට අඩු ආදී වශයෙන් — නිශ්චිත දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර සෘජු සම්බන්ධීකරණයක් ඇති කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
…













Discussion about this post