Reported by: Musharraf Hussain

රුපියල් බිලියන 30ක ප්රතිපාදන යටතේ වසර ගණනාවක් තිස්සේ පවතින මෙරට කසළ ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, ඒ සඳහා රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර ඇති බවයි. ඒ මහතා මේ බව ප්රකාශ කළේ අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති, ‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහන (2026–2029) සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.
මෙම ජාතික වැඩසටහන අදියර තුනක් යටතේ ක්රියාත්මක කෙරෙන බව එහිදී ජනාධිපති ලේකම්වරයා පැහැදිලි කළ අතර, සියලු පාර්ශ්වවල අදහස් සහ යෝජනා ලබා ගනිමින් කසළ කළමනාකරණයට ස්ථීරසාර විසඳුමක් සකස් කිරීම අත්යවශ්ය බවද අවධාරණය කළේය.
නව විද්යාත්මක ක්රමවේද භාවිත කිරීමත්, ජනතාවගේ හැසිරීම් රටා සහ ආකල්පවල ධනාත්මක වෙනසක් ඇති කිරීමත් තුළින් පමණක් තිරසාර විසඳුමක් ලබා ගත හැකි බවත්, එසේ නොවන්නේ නම් කසළ කළමනාකරණයට ස්ථිර විසඳුමක් සෙවීම අපහසු වන බවත් ඔහු සඳහන් කළේය.
කසළ කළමනාකරණය සඳහා විවිධ ව්යාපෘති රැසක් ක්රියාත්මක කළ යුතු බවත්, ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලය මඟින් ක්රියාත්මක කරන ‘පිවිතුරු පුරවර’ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අවශ්ය බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව, දිවයින පුරා පවතින කසළ කළමනාකරණ ගැටලුවලට ස්ථීරසාර විසඳුමක් ලබාදීම අරමුණු කරගෙන, ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම ‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහන ක්රියාත්මක කෙරේ.
*ලෝකයේ දියුණු රටවල ක්රියාත්මක වන කසළ කළමනාකරණ ආකෘති අධ්යයනය කිරීමත්, මෙරට විශේෂඥයන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමත් මඟින් කසළ නිසි පරිදි කළමනාකරණය කිරීම සහ නව ප්රතිචක්රීකරණ ව්යාපෘති ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.*
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ සහ ක්ලීන් ශ්රී ලංකා ජාතික වැඩසටහනේ පූර්ණ අධීක්ෂණය යටතේ, පළාත් පාලන ආයතනවල සක්රීය දායකත්වයෙන් ඉදිරි වසර තුනක කාලය තුළ මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.සාකච්ඡාවේදී සියලුම දිස්ත්රික්කවල කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටලු, රැස්කර ඇති දත්ත, යෝජිත විසඳුම් සහ ඒවා ක්රියාත්මක කිරීමේදී මතු විය හැකි අභියෝග පිළිබඳවද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
ගෘහාශ්රිත කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා අවශ්ය විද්යාත්මක සහාය රාජ්ය මැදිහත් වීමෙන් ලබාදීම, කසළ වෙන් කිරීම, ප්රතිචක්රීකරණය ප්රවර්ධනය කිරීම, එමඟින් ආදායම් උපයා ගැනීමේ ක්රමවේද සකස් කිරීම සහ කසළ එකතු කිරීම විධිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
දිරන සහ නොදිරන අපද්රව්ය වෙන වෙනම වෙන් කර ප්රතිචක්රීකරණ මධ්යස්ථාන වෙත යොමු කිරීමේ අවශ්යතාව මෙන්ම, අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි.
එමෙන්ම, අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් සම්බන්ධ තොරතුරු ලබාදීම සඳහා විශේෂිත දුරකථන අංකයක් හඳුන්වා දීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.වෙරළාශ්රිතව එකතු වන කසළ, වෛද්ය අපද්රව්ය සහ වරාය ආශ්රිතව එකතු වන ෆයිබර්, දැල් ආම්පන්න ඇතුළු අපද්රව්ය කළමනාකරණය කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කළේය.
මේ අතර, මෙරට කසළ කළමනාකරණයට අවශ්ය මූලික මැදිහත් වීම් මේ වන විට සිදු කර ඇති බවත්, කසළ පළාත් පාලන ආයතනවල දේපළක් බවට පත්ව ඇති බැවින් මෙම ගැටලුව රජයට පමණක් විසඳිය නොහැකි බවත්, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේය.
දිස්ත්රික්ක සියල්ලේම කසළ බැහැර කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති අතර, මීට පෙර විවිධ ව්යාපෘති ක්රියාත්මක කළද ඒවායෙන් ස්ථීරසාර සැලසුම් බිහි වී නොමැති බවද ඔහු පැවසීය.
දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට පළාත් පාලන ආයතනවලට පමණක් විසඳුම් සෙවිය නොහැකි බැවින්, රජයේ මැදිහත් වීම යටතේ සමස්ත රාජ්ය යාන්ත්රණය ඒකාබද්ධ කර විද්යාත්මක සැලසුම් සකස් කිරීම මඟින් කසළ කළමනාකරණයට ස්ථීරසාර විසඳුමක් ලබාදීමේ අවශ්යතාව රජය හඳුනාගෙන ඇති බව නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
…













Discussion about this post