Reported Journalist:Zamil Shafeek

ඕස්ට්රේලියාව තුළ ශුක්රාණු දායකයන්ගේ දැඩි හිඟයක් හේතුවෙන් පරිත්යාගශීලී ශුක්රාණු සඳහා වන ඉල්ලුම 97.6% කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
තනි මව්වරුන්, සමලිංගික යුවළයන් සහ පිරිමි වඳභාවය පිළිබඳ දැනුවත්භාවය ඉහළ යාමත් සමඟ ශුක්රාණු සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වර්ධනය වී තිබුණද, ඊට සරිලන ලෙස දායකයන්ගේ සංඛ්යාව ඉහළ නොයාමෙන් හිඟය තවදුරටත් උග්ර වී තිබේ.ඕස්ට්රේලියාවේ ක්රියාත්මක දැඩි නීති හා නියාමන ක්රමවේද මෙම තත්ත්වයට බලපා ඇති බව සඳහන් වේ.
දායකයන්ගේ අනන්යතාව සම්පූර්ණයෙන් රහසිගත නොවන අතර, එම දායකත්වයෙන් උපත ලබන දරුවෙකුට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ජීව විද්යාත්මක පියාගේ තොරතුරු ලබාගැනීමට නීතිමය හැකියාව පවතී.එමෙන්ම ශුක්රාණු සඳහා මුදල් ගෙවා ලබාගැනීම තහනම් කර ඇති අතර, දායකත්වය සිදුවන්නේ ස්වේච්ඡා හා පරෝපකාරී පදනම මත පමණි.වාර්තා අනුව, දායකත්වය සඳහා ඉදිරිපත් වන පුද්ගලයන් 150 දෙනෙකුගෙන් අවසානයේ සුදුසුකම් ලබන්නේ එක් අයෙකු පමණක් වන අතර, දැඩි සෞඛ්ය හා නීතිමය පරීක්ෂණ ඊට හේතු වී තිබේ.
දේශීය හිඟය පියවා ගැනීම සඳහා විදේශයන්ගෙන් ශුක්රාණු ආනයනය කිරීමට සිදුව ඇති අතර, ඒ සඳහා වන පිරිවැයද පසුගිය වසරේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.මේ අතර, දිගු පොරොත්තු කාලය සහ අධික වියදම් හේතුවෙන් ඇතැම් කාන්තාවන් සහ යුවළයන් සමාජ මාධ්ය ඔස්සේ පෞද්ගලික දායකයන් සොයා යෑමට පෙළඹී සිටින බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, නිසි වෛද්ය පරීක්ෂණ සහ නීතිමය ආරක්ෂාවකින් තොරව මෙලෙස ශුක්රාණු ලබාගැනීම බරපතළ සෞඛ්ය, ජානමය සහ නීතිමය අවදානම් ඇති කළ හැකි බව ප්රජනන සෞඛ්ය විශේෂඥයන් අනතුරු අඟවා සිටියි.













Discussion about this post