Reported Journalist:Zamil Shafeek

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා ප්රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ප්රතිකාර ප්රමාදයන් අවම කිරීම සඳහා වෛද්ය උපකරණ, ඖෂධ සැපයුම, කාර්ය මණ්ඩල පුරප්පාඩු සහ ප්රතිකාර පහසුකම් පුළුල් කිරීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පැවසීය.
රෝහලේ වත්මන් සේවා තත්ත්වය, රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව පැවති විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
රෝහලේ පවතින ඉඩකඩ උපරිමයෙන් ප්රයෝජනයට ගනිමින් මධ්යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ (CECB) සහාය ඇතිව නව ප්රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. නව ළමා වාට්ටු සංකීර්ණයක් ඇතුළු සායනික ගොඩනැගිලි ඉදිකිරීම කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.
විකිරණ චිකිත්සක සේවා පුළුල් කිරීම සහ පොරොත්තු ලේඛන අඩු කිරීම සඳහා CT සිමියුලේටර් පහසුකම් සම්පූර්ණ කිරීමේ ප්රගතිය සමාලෝචනය කෙරුණු අතර, ආසියානු සංවර්ධන බැංකු ව්යාපෘතියක් යටතේ ලබාදීමට නියමිත නව රේඛීය ත්වරණක (LINAC) යන්ත්ර ස්ථාපනය සඳහා අවශ්ය ආරක්ෂිත බංකර් ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
එමෙන්ම, අත්යවශ්ය ඖෂධ හා ශල්ය උපකරණ අඛණ්ඩව සැපයීම සඳහා වෛද්ය සැපයුම් අංශය සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත්, ඖෂධ හිඟයන් විසඳීම සඳහා හදිසි මිලදී ගැනීම් ඇතුළු පියවර ගැනීමටත් සාකච්ඡා කෙරිණි.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ සැලසුම්ගත වැඩසටහනක් යටතේ වෛද්යවරුන්, හෙද නිලධාරීන්, විකිරණවේදීන්, ඖෂධවේදීන් සහ සෞඛ්ය සහායකයින් ඇතුළු කාර්ය මණ්ඩල පුරප්පාඩු ක්රමයෙන් පිරවීමට කටයුතු කරන බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසීය. නව සෞඛ්ය සහායකයින් පිරිසක් ද රෝහලට අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, වායු සමීකරණ පද්ධති, වෛද්ය උපකරණ, ඩිජිටල්කරණය, අන්තර්ජාල පහසුකම් සහ කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු පිළිබඳව ද රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන්, අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්ය සුරංග දොලමුල්ල මහතා ඇතුළු විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, හෙද නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගී වූහ.













Discussion about this post