Reported Journalist:Zamil Shafeek

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ රතු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනතුරු ඇඟවීම්වලට අනුව ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් ඉහළ අවදානම් කලාප ලෙස නම් කර ඇත.
මේ අතර, පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි, කැලණි, කළු, ගිං සහ නිල්වලා ඇතුළු ප්රධාන ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මහවැලි ගඟේ පෙරාදෙණිය ප්රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති අතර, ගම්පොළ, නාවලපිටිය, පෙරාදෙණිය සහ ඒ අවට පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.එමෙන්ම කැලණි ගඟ ග්ලෙන්කෝස් ප්රදේශයේ සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති අතර, කළු ගඟේ මිල්ලකන්ද, රත්නපුර සහ මගුරු ප්රදේශවලද ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.
ගිං ගඟේ තවලම ප්රදේශයෙන්ද ගංවතුර අවදානමක් වාර්තා වී ඇති අතර, නිල්වලා ගඟේ පානදුගම ප්රදේශයේ ජල මට්ටමද ඉහළ යමින් පවතී.කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බෙංගාල බොක්කේ අන්දමන් දූපත් ආශ්රිතව පවතින අඩු පීඩන කලාපයේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති නමුත්, එහි බලපෑම මත නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි.
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.මේ අතර මුහුදු ප්රදේශ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස බලධාරීන් ධීවර හා නාවික ප්රජාවට දැනුම් දී තිබේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකි අතර මුහුද රළු විය හැකි බව සඳහන් වේ.පවතින තත්ත්වය හේතුවෙන් නායයෑම් අවදානම් ප්රදේශවල සහ ගංගා ආශ්රිත පහත් බිම්වල ජනතාවට බලධාරීන් නිකුත් කරන නවතම අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය භාවිත කළ හැකිය.












Discussion about this post