Reported by: MUSHARRAF HUSSAIN

සමාජ මාධ්ය සහ විවිධ සන්නිවේදන ක්රම භාවිත කරමින් කාන්තාවන් ඉලක්ක කර සිදුකරන ලිංගික අතවර, මුදල් සහ දේපළ ලබා ගැනීම් මෙන්ම මනුෂ්ය ඝාතන දක්වා වර්ධනය වූ සිදුවීම් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසිය මහජනතාව දැනුවත් කිරීමට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, වංචනික පුද්ගලයින් විසින් විවාහ කරගන්නා බවට ව්යාජ පොරොන්දු ලබා දෙමින් කාන්තාවන්ගේ විශ්වාසය දිනාගෙන ඔවුන් මුළා කිරීමේ සිදුවීම් මෑත කාලයේදී දිවයිනේ විවිධ ප්රදේශවලින් වාර්තා වී ඇති බවය.එමෙන්ම, විවිධ ආහාර සහ පාන වර්ග ලබාදී මත් කිරීම හෝ සිහිසුන් කිරීම මගින් කාන්තාවන් අතවරයට ලක් කිරීම සහ ඔවුන් සතු දේපළ සොරකම් කිරීමේ සිදුවීම්ද සිදුවන බව පොලීසිය පෙන්වා දෙයි.
තවද, වංචනික පෙම්වතුන් ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගේ විශ්වාසය දිනාගන්නා පුද්ගලයින් පසුව මුදල් හා දේපළ ලබාගෙන, ඇතැම් අවස්ථාවලදී එම සිදුවීම් මනුෂ්ය ඝාතන දක්වා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කර තිබේ.මෙම තත්ත්වය පොලිස්පතිවරයාගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, අවදානමට ලක්විය හැකි පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා සියලුම පොලිස් ස්ථාන, මහජන ආරක්ෂක කමිටු, බුද්ධි සහ සිවිල් නිලධාරීන් දැනුවත් කර ඇති බවද සඳහන් වේ.
ඒ අනුව, ශ්රී ලංකා පොලීසිය විසින් මහජනතාවට, විශේෂයෙන් කාන්තාවන්ට පහත උපදෙස් පිළිපදින ලෙස දැනුම් දී තිබේ.මුදල් හා දේපළ ආරක්ෂාව:අන්තර්ජාලය හෝ සමාජ මාධ්ය හරහා හඳුනාගන්නා නාඳුනන පුද්ගලයින් විශ්වාස කර මුදල්, ස්වර්ණාභරණ හෝ වටිනා දේපළ ලබා නොදෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.සංවේදී දත්ත හුවමාරුව:තමන්ගේ සංවේදී හෝ පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සැක සහිත පුද්ගලයින් වෙත ලබාදීමෙන් වළකින ලෙසද උපදෙස් ලබාදී ඇත.
පුද්ගලික තොරතුරු ආරක්ෂාව:ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් තොරතුරු, පෞද්ගලික ලිපිනයන් වැනි රහස්ය තොරතුරු නාඳුනන පුද්ගලයින් වෙත ලබා නොදෙන ලෙසද සඳහන් කර තිබේ.සැක සහිත ආරාධනා ප්රතික්ෂේප කිරීම:සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ මගින් සිදුකරන ගනුදෙනු සහ හමුවීම් සඳහා වන ආරාධනා ප්රතික්ෂේප කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
තමන් හෝ තමන් දන්නා හඳුනන අයෙකු මෙවැනි වංචාවකට හෝ බලපෑමකට ලක්ව ඇති බවට සැකයක් පවතින්නේ නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසද දැනුම් දී ඇත.
එමෙන්ම, 118, 119, 107 සහ 109 යන දුරකථන අංක ඔස්සේද කඩිනමින් පොලීසිය වෙත තොරතුරු ලබාදිය හැකි බව පොලිස් නිවේදනයේ සඳහන් වේ.වංචනික පුද්ගලයින්ගේ උගුල්වලට හසු නොවී තම ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්රී ලංකා පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
_













Discussion about this post